සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්ර නෞකාවන් යලි දිවයිනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්ර යන නෞකාවන් සිය සිංගප්පූරු නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (25) නැවත කොළඹ වරායට සේන්දු විය. ඔවුන් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරන අතරතුර සිංගප්පූරු නාවික හමුදාව සමග නාවික අභ්‍යාසයන් කීපයක් සඳහා ද සහභාගී විය.
නෞකාවන් කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව, එහි අණදෙන නිලධාරීන් වන කපිතාන් අනුර ධනපාල සහ කපිතාන් නිශාන්ත පීරිස් යන මහත්වරුන්, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා හමුවූ අතර, එහිදී ඔවුන් විසින් සංචාරය අතරතුරදී සිදු කරන ලද ක්‍රියාකාරකම් හා එහි ප්‍රගතිය පිළිබඳ විස්තර කිරීමක් ද සිදු කෙරිණි.
මෙම නෞකාවන් පසුගිය 5 වන දින සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යන ලදී. නෞකාවන් මෙම මස 12 වන දින සිට 18 වන දින දක්වා සිංගප්පූරුවේ රැදී සිටි අතර, මෙම නිල සංචාරය සඳහා සාගර සහ නන්දිමිත්ර නෞකාවන්ගේ නිලධාරින් 34 දෙනෙකු ඇතුළුව ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් 290 දෙනෙකු සහභාගී වී සිටියහ. එහිදී, ඔවුන් යුද නැව් සංදර්ශනය, අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය, ජාත්‍යන්තර මුහුදු ඉංජිනේරු සමුළුව, නාවික හමුදා ජාල වැඩසටහන යන වැඩසටහන් සඳහා ද සහභාගී විය.
සාගරික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන තේමාව යටතේ සංවිධානය වූ මෙවර ප්‍රදර්ශණය සඳහා රටවල් 20 ක් නියෝජනය කරමින් නෞකාවන් 29 ක් එක්වී සිටියහ.








