ඉන්දියානු ශිෂ්‍යභට නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ (Indian Naval Academy) අද (27) පැවැත්වූ 2017 කාණ්ඩයේ ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ එහි ප්‍රධාන නිලධාරියා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨ නිලධාරී විසිර යාමේ පෙළපාලියක ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන නිලධාරියා වශයෙන් විදෙස් නාවික ප්‍රධානියෙකු සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙය වේ. එමෙන්ම, එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවීය සුහදත්වය මෙන්ම ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට එක්වන සුවිශේෂී අවස්ථාවක් ලෙස ද සනිටුහන් වනු ඇත.
ඉන්දියානු ශිෂ්‍යභට නිලධාරීන් 272 දෙනෙකු, ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත් ශිෂ්‍යභට නිලධාරින් 66 දෙනෙකු හා ටැන්සානියානු සහ බෙනින් රාජ්‍යයේ ශිෂ්‍යභට නිලධාරීන් 2 දෙනෙකු මෙම වර්ණවත් විසිරයාමේ පෙළපාලියෙන් පසු අධිකාරියට පත් කරන ලදී. ඔවුන්, 92 වන ඉන්දියානු නාවික අධ්‍යයන පාඨමාලාවට අයත් තාක්ෂණවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය, 23 වන නාවික සටන් මගපෙන්වීමේ (දීර්ඝ) පාඨමාලාව සහ 24 වන වන නාවික සටන් මගපෙන්වීමේ (නිත්‍ය) පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍යභට නිලධාරීන් වේ.
අංශ පිරික්සුමෙන් අනතුරුව පැවති සම්මාන ප්රදානෝත්සවයේදී දක්ෂතා දැක්වූ ශිෂ්‍යභට නිලධාරීන් 9 දෙනෙකු හට පදක්කම් පිරිනැමීම ද වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.
එම උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන නිලධාරියා වශයෙන් ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු නාවික හමුදාධිපතිතුමන් වන අද්මිරාල් සුනිල් ලන්බා මහතාට සිය කෘතඥතාවය පළ කර සිටින බවයි. සිය දේශණයේදී එතුමා විසිර යන ලද ශිෂ්‍යභට නිලධාරීන් හට සිය සුභපැතුම් එක් කළ අතර, උසස් නාවික නිලධාරියෙකු වීම සඳහා අවශ්‍ය කායික සහ මානසික මට්ටම නිරන්තරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් ද අවධාරණය කරන ලදී.
එමෙන්ම, විසිර යන නව නිලධාරීන් ඇමතූ එතුමන් ජාතික අභිමානය, වෘත්තීමය හැකියාව, අවංක බව සහ සාධාරණත්වය යන ගුණාංගයන් වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් සිය අදහස් පළ කරන ලදී. එමගින් ඉදිරි අනාගතයේදී සෑම සියළු දෙනාගේම ගෞරවාදරයට පාත්‍ර වන නායකයෙකු වීමට ඔවුන්ට හැකිවනු ඇති බව ද ප්‍රකාශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන්, සිය රාජකාරිය ගෞරවාන්විතවත්, කැපවීමෙන් යුතුවත්, ඉටු කරන අතරතුර උසස් නාවික සම්ප්‍රදායන් රැක ගනිමින් කටයුතු කරන ලෙස ද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල්, ඒආර් කර්ව් මහතා, ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨයේ ආඥාපති, වයිස් අද්මිරාල් එස්වී බොකාරි මහතා, ඉන්දියානු කාර්මික අධ්‍යාපනය පිළිබද කවුන්සිලයේ සභාපති, මහාචාර්ය අනිල් ඩී. සහශ්රබුධි මහතා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට පවතින ශක්තිමත් නාවික සහයෝගීතාවය මගින් ද්විපාර්ශවීය අභ්‍යාස, නෞකා සංචාර, වෘත්තීමය හැකියාවන් වර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුහුණු පාඨමාලා ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. තවද, ඉන්දියාවේ ගොවා නැව් තඨාකංගනයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිවෙමින් පවතින අධිතාක්ෂණික නෞකාවන්ගේ නිෂ්පාදන කටයුතු මේ වන විට අවසන් අධියරට පැමිණ ඇත. මේ අතර, ඉන්දියානු නාවික හමුදාවට අයත් මුහුදු සමීක්ෂණ නෞකාවක් වන දර්ශක් නෞකාව ද පසුගිය මාස 2 ක් මුළුල්ලේ ශ්‍රී ලංකාව අශ්‍රිත වෙරළ තීරය ආවරණය වන පිරිදි සිදු කළ ඒකාබද්ධ ජල මානක සමීක්ෂණය සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට කටයුතු කරන ලදී.
1987 වර්ෂයේදී දියත් කරන ලද ඉන්දීය සාම සාධක මෙහෙයුම් වලදී කිලාලි කළපුව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද පවන් මෙහෙයුම සඳහා තරුණ ලුතිනන් වරයෙකු වශයෙන් කටයුතු කරන සමයේ ඉන්දියානු මැරීන් කොමාණ්ඩෝ භටයන්ගේ නියමු නිලධාරියෙකු වශයෙන් ද වත්මන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් කටයුතු කර ඇත. මෙම මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීත බව උදෙසා එතුමා හට රණවික්‍රම පදක්කම පිරිනැමුණු අතර, මෙම මෙහෙයුම සඳහා එක් වූ ඉන්දීය නිලධාරීන් වන ලුතිනන් අරවින්ද් සිං සහ ලුතිනන් ඒ වර්මා යන නිලධාරීන් හට මහා වීර චක්‍ර සහ වීර චක්‍ර පදක්කම් ද ප්රදානය කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා, ඔහුගේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සහ දිය යට සංග්‍රාමික (විශේෂ) පුහුණු පාඨමාලාව මෙන්ම ජාතික ආරක්ෂක විද්‍යාලීය පාඨමාලාව ඉන්දියාවේ දී සාර්ථක ලෙස හදාරා සම්පූර්ණ කර ඇත. මීට අමතරව එතුමා 2000 වර්ෂයේ නොවැම්බර් මස සිට 2004 අප්‍රේල් මස දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් ද රාජකාරී සිදු කර ඇත.
ඉන්දියානු ශිෂ්‍යභට නිලධාරි විසිර යාමේ පෙළපාලිය අමතා නාවික හමුදාධිපතිතුමන් සිදු කළ දේශණය


















ඡායාරූප සඳහා අනුග්‍රහය - ඉන්දියානු නාවික හමුදාව