13 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 42 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 13 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 25 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යෑම ඊයේ (26) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී සිදු කෙරුණි. ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී එම විසිරයාමේ පෙළපාලිය පැවැත්විණි. එම උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සහභාගී විය.
තම මූලික පුහුණු කාලසීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් හට කුසලාන සහ සහතික පත් ප්රදානය කිරීමද එහිදී සිදු කෙරිණි. ඒ අනුව, 13 වන ශිල්පීය අංශයේ නාවිකයන් බඳවා ගැනීමේ විශිෂ්ඨතම නාවිකයා වශයෙන් ශිල්පී එස්අයිඑස් ද සිල්වා යන අය කුසලාන හා සහතිකපත් හිමිකර ගත් අතර, ශිල්පී එල්ආර් දසනායක දක්ෂතම ඉලක්කකරු ලෙස ද, ශිල්පී එන්ජීඑස් වීරසිංහ හොඳම ක්‍රීඩකයා ලෙසද කුසලාන හා සහතිකපත් හිමි කර ගන්නා ලදී.
සාගරික ඉංජිනේරු අංශයට අයත් විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් පළමු වන ස්ථානය හිමි කර ගන්නා ලද්දේ ශිල්පී ඒඒඩීඑස්අයි අමරසිංහ විසිනි. එමෙන්ම, විදුලි හා විද්‍යුත් අංශයේ පෙරමුණ ගැනීමට ශිල්පී ඩබ්බීඅයි මධුෂාන් සමත් වූ අතර, විද්‍යුත් හා විදුලි සංදේශ අංශයේ වැඩිම ලකුණු ලබා ගැනීමට ශිල්පී පීටීඩී රොද්‍රිගෝ සමත් විය. එමෙන්ම, නැව් බඳ අළුත්වැඩියා කිරීම් සහ නෞකා තැනීමේ ඉංජිනේරු ශිල්පී අංශයේ වැඩිම ලකුණු ලබා ගැනීම වාර්තා කිරීමට ශිල්පී එස්අයිඑස් ද සිල්වා හට හැකියාව ලැබිණි.
වර්ණවත් සංස්කෘතික අංගයන්ගෙන් අලංකාරවත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය පැමිණ සිටි සෑම දෙනාගේම ආකර්ශණය දිනා ගැනීමට සමත් විය. ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නාවික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් විසිර යන ලද නාවිකයන්ගේ දෙමාපියන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.




















