පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
නාවික හමුදාව මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටී. මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ සියඹලාගොඩ රොටුඹ, පස්ගොඩ යා කරන පිටබැද්දර පාලමේ යට කොටස, පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත් වී ඇත. එම හේතුව නිසා ඊයේ (28) රාත්‍රී වන විට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් අකුරැස්ස අවට ප්‍රදේශයට තව දුරටත් ජල ගැලීමේ අවධානමක් පැවතිණි.
මෙම අවධානම් තත්ත්වය සැළවූ විගස ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික පුද්ගලයින් 71 දෙනෙකු ද කිමිදුම් අංශයේ නාවිකයින් 6 දෙනෙකු ද එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.










