අවහිර වූ සහ හානි වූ පාලම් 2 ක් පිළිසකර කිරීමේ නාවික හමුදා මෙහෙයුම්
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2 ක පාලම් 2 කට හානි සිදු වී තිබූ අතර, ඒවා පිළිසකර කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික භට පිරිස් යොදවා ඇත.
ඒ අනුව, මාතර දිස්ත්‍රික්කයේ සියඹලාගොඩ, මහපොතුවිල පාලමේ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායට අනුයුක්ත නාවිකයන් 36 දෙනෙකු අද (30) දින යොදවන ලදී. මෙය සියඹලාගොඩ ප්‍රදේශයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ යා කරන පාලම ලෙස සැළකේ. එහි පහළ කොටස, විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි සේ අවහිර වී තිබිණි. එහි අවධානම් තත්ත්වය සැළවූ විගස ශ්‍රී ලංකා නාවික හමුදාව පාලමේ සිරවී තිබූ අපදුව්‍ය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. නිල්වලා ගඟේ අතු ගංඟාවක් වන ඌරුබොක්ක ආරු, ගංඟාව හරහා ඉදිකර ඇති මෙම පාලම, මාතර පිටබැද්දර ප්‍රදේශයේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරකින් පිහිටා ඇත.
තවද, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කුරුවත්ත පාලම පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට දැඩි ලෙස හානියට පත් වී ඇත. එම හානි වූ පාලම යළි පිළිසකර කිරීමේ කටයුතු සඳහා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අයත් නාවිකයින් 37 දෙනෙකු අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මේ වන විටත් එම පාලම පිළිසකර කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කරමින් පවතී.








