පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
පෑලියගොඩ අධිවේගී පිවිසුම් මාර්ගය අසල ඇති මීගහවත්ත ඇල මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය. පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග රොන් මඩ, කැලි කසළ එකතු වීමෙන් සහ ජලජ පැලෑටි වලින් පිරී පැවතීම හේතුවෙන් එම ඇල මාර්ගය ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවතිණි.
මෙම ඇල මාර්ගය අපවිත්‍ර වීම නිසා ප්‍රදේශය පුරා දුර්ගන්ධයක් පැතිරී තිබූ අතර, ලෙඩ රෝග වැලදීමේ අවධානමක් ද පැවතිණි. මෙම තත්ත්වය සැලවූ වහාම පසුගිය 31 වන දින මෙය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව ඊයේ (31) සහ අද (1) නිලධාරීන් 5 දෙනෙකුගෙන් සහ නාවිකයන් 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 2 ක් මෙම ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතී.
තවද, මෙම කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ නාවික හමුදා ඩිංගි යාත්‍රා 3 ක්ද යොදාගෙන තිබිණි. මෙම ඇල මාර්ගය පෑලියගොඩ අධිවේගී මාර්ගය ආසන්නයේ සිට කැළණි ගඟ දක්වා දිවෙන අතර, එය දිගින් කිලෝමීටර් 2 කින් සහ පළලින් මීටර් 60 කින් යුක්ත වේ.











