රුසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට පැමිණේ
රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ සුහද සංචාරයක් සඳහා අද දින (ජූනි 14) කොළඹ වරායට සේන්දු විය.
තවද නෞකාවේ කාර්යය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඡායාරූප ශිල්පය පිළිබඳ ප්රදර්ශණයක් පැවැත්වෙන අතර, ශ්රී ලංකා රුසියානු තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා විසින් විවෘත කිරීමට නියමිත වේ. ශ්රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල , රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්රි ඒ මිකායිලොවිස්කි හා තවත් නිලධාරින් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
මෙම නෞකාව මෙරට රැඳී සිටින අතරතුර මෙම මස 15,16 හා 17 වන තෙදින පුරා පාසැල් ළමුන් සඳහා විවෘත කිරීමට සූදානම් කර ඇත. තවද ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සහ ක්රීඩා ඉසව් සඳහා මෙම නෞකා කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.
මෙයට වසර 200කට පමණ පෙර රුසියානු නාවිකයන් වන ඉවාන් කෲසෙන්ෂ්ටර්න් සහ යූරි ලිසියෑන්ස්කි ගේ නායකත්වය යටතේ ලොව වටා සංචාරය කළ ‘නඩේස්ඩා’ නෞකාව සිහිවීම පිණිස එම නමින්ම කුඹ ගස් තුනකින් සමන්විත මෙම නෞකාව නම් කර ඇත.





