ශ්‍රී ලංකා සංචාරය නිමාකළ පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් සිය රට බලා පිටත් වෙයි
ශ්‍රී ලංකා සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි14), බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පාකිස්ථානය බලා පිටත් විය. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති තුමන් පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් හට සමුදීම ද එහිදී සිදු කරන ලදී. තෙදින නිල සංචාරයක් සඳහා එතුමන් මෙරටට පැමිණියේ පසුගිය (ජූනි 11) වනදාය.
එතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වූ පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් පසුගිය ජූනි 11 වන දින ත්‍රිකුණමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති විසරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී විය.
මීට අමතරව අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් හමු විමට ද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. එය දෙරට අතර සුහදතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයකට අනුව පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ශ්‍රීලංකාවේ සංචාරය කර ඇත.





