විදේශ කටයුතු අමාත්‍යතුමා ඇමෙරිකානු නාවික හමුදාවේ ‘ලේක් ඊරි’ නෞකාවේ සංචාරයක නිරත වේ
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ යුද නෞකාව පසුගිය ජූනි 11 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර එහි කාර්ය මණ්ඩලය පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා දායක විය. මෙවැනි අවස්ථාවක එම නෞකාවේ කාර්ය මණ්ඩලය අගයනු වස් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා අද (ජූනි 16) එම නෞකාවේ චාරිකා වාරයක් සිදු කරන ලදි.
තවද එම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා සහ බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන මහත්වරුන් සහභාගි වන ලදි.
ශ්‍රී ලංකාවේ ඇති වූ ආපදා තත්ත්වය හමුවේ දක්වන ලද මෙම සහයෝගය ඉතා අගය කොට සලකන බව එහිදී විදේශ කටයුතු අමාත්‍යතුමා පවසන ලදි. තවද මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ශ්‍රී ලංකාවේ මැරීන් බලකාය පිහිටුවීමට මුල් වූ එක්සත් ජනපද මැරීන් බලකාය සමග එක්ව වැඩ කිරීමට ලැබීම ඉතා අගය කොට සලකන බවත් පැවසීය.
එක්සත් ජනපද ලේක් ඊරි යුද නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීම සඳහා පැමිණ සිටින අතර ඔවුන්ගේ සහයෝගය මත ළිං 324 ක් ද, පාසල් 4 ක් පිරිසිදු කරනලද අතර වැව් බැමි 4 ක් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
එක්සත් ජනපද ලේක් ඊරි යුද නෞකාව ලබන 25 දින කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිත වේ.













