මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි
නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 22 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 24 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය අද (30) කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.
මාස 8 ක කාල සීමාවක් පුරාවට එකිනෙකට වෙනස් අංශ 2 ක් ඔස්සේ විධිමත් පාඨමාලාවක් හැදෑරීමෙන් පසු විසිර යන ලද ප්‍රථම ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ කණ්ඩායම වශයෙන් මොවුන් නාවික ඉතිහාසයට එක් වනු ඇත. ඒ අනුව යුධමය වාතාවරණයක් පවතින කාල වකවානුවක කුඩා බෝට්ටු සංකල්පය අනුගමනය කරමින් සෙඩ්රික් යාත්‍රා මගින් සතුරා වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම මෙම පුහුණුවේ එක් අරමුණක් විය. එමෙන්ම හදිසි සහ ස්වාභාවික ආපදා තත්ත්වයන් වලදී විශේෂයෙන්ම ගංවතුර හේතුවෙන් විපතට පත් වූවන් මුදවා ගැනීමේ හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා මනා පුහුණුවක් ලබා දීම ද මෙම පුහුණු කාල සීමාව තුළ දී සිදු කෙරිණි.
පුහුණු කාල සීමාව තුළදී විශේෂ කුසලතා දැක්වූවන් සඳහා සම්මාන පිරිනැමීම එහිදී සිදු විය. ඒ අනුව විශිෂ්ඨතම පුහුණුවන්නාට හිමි සම්මනානය ලුතිනන් එන්එන් වික්‍රමසූරිය යන නිලධාරියා විසින් හිමි කර ගන්නා ලදී. දක්ෂතම යාත්‍රා හසුරවන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ලුතිනන් එස්ඩබ්එස් ජයසිංහ විසිනි. දක්ෂතම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා වශයෙන් බල නාවික බීජීබීඑන් බණ්ඩාර සම්මාන හිමි කර ගනිද්දී, දක්ෂතම ජීවිතාරක්ෂකයාට හිමි සම්මානය බල නාවික පීඅයි ප්‍රේමරත්න විසින් දිනා ගන්නා ලදී.
මෙම විසිර යෑමේ උත්සව අවස්ථාවේදී සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වනු වස් එම නිලධාරීන් සහ නාවිකයන් විසින් විශේෂ යුද සංදර්ශණයක් ද ඉදිරිපත් කරන කෙරිණි. තවද, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා සහන සැළසීම අරමුණු කර ගනිමින් හදිසි ගංවතුර තත්ත්වයකදී කඩිනමින් ක්‍රියාත්මක වී විපතට පත් වූවන් සඳහා සහන සැළසීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන අයුරු විදහා දැක්වෙන ක්‍රියාකාරකමක් ද එහිදී ඔවුන් විසින් සිදු කරන ලදී.
එම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක මහතා, නාවික හමුදා මූලස්ථානය හා වයඹ නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විසිර යන ලද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.















