රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (11) විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව එතුමා වෙනුවෙන් සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කෙරිණි.
සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා එතුමා කැටුව යාමෙන් පසු, සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබීය. මාර්ගය දෙපස රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් ද එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කරන ලදී.
1982 වසරේ දී 11 වන බඳවා ගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා මීට පෙර විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කරන ලදී. ඒ අනුව එතුමා, මීට පෙර අධ්යක්ෂ සාගරික ඉංජිනේරු, කොමදෝරු අධිකාරී තඨාකංගනය (නැගෙනහිර) සහ අධ්යක්ෂ මෝටර් රථ ඉංජිනේරු වශයෙන් ද රාජකාරී කටයුතු සිදු කර ඇත. එමෙන්ම, එතුමා නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් වසරකට වැඩි කාල සීමාවක් සිය රාජකාරී කටයුතු සිදු කරනු ලැබීය.



















