මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 11) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත් විය.
මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත. පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකු අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා අනුයුක්ත කිරීමට ද කටයුතු කෙරිණි.
මෙම කර්තව්‍ය සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත නාවික හමුදා පුද්ගලයින් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී. ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික පුද්ගලයින් කටයුතු කර ඇත. අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වන ජීවී නිලධාරීන් වෙත භාර දීමට ද කටයුතු කෙරිණි.









