මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
මහනුවර ශික්ෂණ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද වකුගඩු රෝග ශල්‍ය ඒකකය ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) විවෘත කෙරිණ. එම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය.
තවද, මෙම අවස්ථාව සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක තුමන්, එහි වෛද්‍ය කාර්යය මණ්ඩලය, ප්‍රභූ පුද්ගලයන්, සම්භාවනීය අමුත්තන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම වකුගඩු රෝග ශල්‍ය ඒකකයේ ස්ථාපිත කොට ඇති වකුගඩු රෝග ප්‍රතිකාර වලදී රුධිර කාන්දුකරණ (Dialysis) ක්‍රියාවලිය සඳහා උපයෝගී කරගන්නා අති පවිත්‍ර ජලය නිපදවිය හැකි යන්ත්‍රය (Ultra Purified Water) නිෂ්පාදනය කරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසිනි. එය එම ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද දෙවන යන්ත්රයයි. මීට පෙර කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකයේ හි ස්ථාපිත කරන ලද අති පවිත්‍ර ජලය නිපදවන යන්ත්‍රය ද නිෂ්පාදනය කරන ලද්දේ නාවික හමුදාව විසිනි. නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන් හි තවත් එක් පියවරක් වශයෙන් මෙය හඳුන්වා දිය හැක.
මෙම ජල පිරිපහදු යන්ත්‍රය මගින් නිපදවන අති පවිත්‍ර ජලය ජාත්‍යන්තර ප්‍රමිති තත්වය AAMI (Association of Advance Medical Instrumentation) යටතේ නිපදවා ඇත. තවද, ස්වාධීන ජාත්‍යන්තර රසායනාගාර මඟින් තහවුරු කොට ඇති උසස් තත්වයේ මල නොබැදෙන අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය විදේශීය වෙළඳපොළින් මිලදී ගැනීමේදි එහි වටිනාකම රුපියල් මිලියන 13 ක් පමණ වේ. නමුත්, ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය නිපදවීම සඳහා වැය වන්නේ රුපියල් මිලියන 1.7 ක් වැනි අඩු පිරිවැයක් වීම විශේෂ කරුණකි.
මෙම යන්ත්‍රය නිපදවීම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සවිබල ගැන්වීමේ නාවික හමුදා ප්රයත්නයන්හි මහඟු කර්තව්‍යයක් ලෙස හදුන්වා දිය හැක. ඉදිරියේදී නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් මෙවැනි යන්ත්‍ර දිවයින පුරා රුධිර කාන්දුකරණ (Dialysis) යන්ත්‍ර ඇති සියලුම රෝහල් සඳහා ප්රදානය කිරීමට ද අපේක්ෂා කෙරේ. වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පුර්ණයෙන් තුරන් කර නිරෝගී ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් කරගෙන යනු ලබන මෙම මහඟු සමාජ සත්කාරය දෙස් විදෙස් සියලු දෙනාගේ නොමද ප්‍රශංසාවට ලක්වි ඇත.

















