මුහුදේ ගසාගෙන යමින් සිටි අලියාගේ දිවි බේරා ගත් නාවික පුද්ගලයන් ඇගැයුමට
පසුගිය ජූලි මස 11 වන දින සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වූ නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඇගයුමට ලක් විය. ජූලි මස 15 වන දිනට යෙදී තිබූ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සව අවස්ථාවට සහභාගී වීම සඳහා නැගෙනහිර නාවික විධානයට ගොස් සිටියදී නාවික හමුදාධිපතිතුමන් එම නාවික පුද්ගලයන් හමුවී සුහද කතාබහක නිරත විය.
එම අවස්ථාවේදී නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ මගපෙන්වීම යටතේ එම බැරෑරුම් කර්තව්‍ය සඳහා උර දුන් වේග ප්‍රහාරක යාත්‍රාවන්හි අණභාර නිලධාරීන් ඇතුළු නාවිකයන් හට සිය සුභාශිංෂණ පිරිනමන බවයි. තවද, ඔවුන්ගේ එම ක්‍රියාව ඉහළින් අගය කරන බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.
මුහුදේ ගසා ගෙන යමින් සිටි මෙම දැවැන්තයා නිරුපද්‍රිතව බේරා ගැනීම දැඩි අවධානම් මෙන්ම, අපහසු සහ වෙහෙසකාරී ක්‍රියාවක් විය. නමුත් වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ නාවික පුද්ගලයින්ගේ උත්සාහය සහ දැඩි කැපවීම මත අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙනවිත් වනයට මුදා හැරීමට හැකියාව ලැබිණි.




