ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් 2 ක් කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (ජුලි 20) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
නෞකාවන් අතරින්, ඉසුමෝ (Izumo) නෞකාව ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදාවේ ධජ නෞකාව මෙන්ම ඔවුන් සතු විශාලතම යුද නෞකාව වශයෙන් හැදින්විය හැක. මෙම නෞකාව දිගින් මීටර් 248 ක් සහ පළලින් මීටර් 38 කින් යුත්ත වන අතර එහි 970 කින් සමන්විත නැව් මුළුවක් ද වේ. නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් යොෂිහිරෝ කයි මහතා කටයුතු කරනු ලබයි.
තවද, සසනමි නෞකාව දිගින් මීටර් 151 ක් සහ පළලින් මීටර් 17.4 කින් යුත්ත වන අතර එහි නැව් මුළුව 175 කින් සමන්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් හිරොටකා ඔකුමුරා මහතා කටයුතු කරනු ලබයි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම සුහද පාපන්දු ක්‍රීඩා තරඟ සහ සංස්කෘතික සංදර්ශන සඳහා නෞකාවන්ගේ නැව් මුළුවන් සහභාගී වීමට නියමිතව ඇත. තවද, දෙරටේ නාවික හමුදා පුද්ගලයින් එක්ව මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර පිළිබඳ ඒකාබද්ධ අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතය. එම නෞකාවන් මෙම මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.








