ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ නෞකාවේ සංචාරයක නිරත වෙයි
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු, රුවන් විජයවර්ධන මහතා අද (ජූලි 21) සුහද සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ධජ නෞකාව වන ඉසුමෝ යුද නෞකාවේ සංචාරයක නිරත විය. එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය. තවද, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු කෙනචි සුගනුමා මහතා ඇතුළු ජපාන නියෝජිතයින් පිරිසක්, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
එහිදී, ජපානයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු, හිරොයුකි මියසාවා මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු පිරිස ඉතාමත් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඔවුන් සඳහා සම්මාන ආචාර මුරයක් ද නෞකාවේදී පැවැත්විණි. ජපාන පළමු නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් යොෂිහිරෝ ගෝකා මහතා, ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් යොෂිහිරෝ කයි මහතා සහ කොමාණ්ඩර් හිරොටකා ඔකුමුරා මහතා ඇතුළු ඉසුමෝ නෞකාවේ නිලධාරීන් රැසක් ද එම අවස්ථාවට එක්වී සිටියහ.
ඉන් අනතුරුව, ආරක්ෂක අමාත්‍යතුමන් ඇතුළු පිරිස නෞකාව ඇතුළත චාරිකාවක නිරත විය. එහිදී නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යොෂිහිරෝ කයි මහතා ඇතුළු නිලධාරීන් විසින් නෞකාවේ සැකැස්ම, මෙහෙයුම් සැළසුම ඇතුළු කරුණු රාශියක් පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, ඔවුන් සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටියහ.




















