හම්බන්තොට නාවික අනුඛණ්ඩයෙහි පරිපාලන ගොඩනැගිල්ල නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා අනුඛණ්ඩයේ අභිනවයෙන් ඉදි කරන ලද පරිපාලන ගොඩනැගිල්ල අද (2017 අගෝස්තු 19) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. 2017 අප්‍රේල් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වේ.
මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් නාවික හමුදාධිපතිතුමන් විසින් එම ස්ථානයේ පැලයක් ද රෝපණය කරන ලදී. තවද, එතුමා මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ නාවික පුද්ගලයන් අමතා ඉතා උසස් අන්දමින් මෙම ගොඩනැගිල්ල ඉදිරිකිරීම පිළිබඳව ඔවුන් වෙත ප්‍රශංසාව පුද කෙරිණි.
එම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදාධිපතිතුමාගේ ලේකම් සහ අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි, දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, හසිත ගමගේ,අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, කොමදෝරු සුසිල් සේනාධිර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.














