නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එම පුද්ගලයින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම, කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සහ කැස්බෑ මස් ලඟ තබා ගැනීම වැනි හේතූන් මත මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.
පසුගිය ඔක්තෝබර් 17 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වෙල්ලමනල් සහ ලංකාපටුන මුහුදු ප්‍රදේශයන් හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැල් 5 ක්, කිමිදුම් කටයුතු සඳහා භාවිතා කරන විදුලි පන්දම් 3 ක්, මුහුණු ආවරණයක් සහ පා වරල් යුගලක් ද අත්අඩංගුවට ගත් අතර, එම පුද්ගලයන් සහ තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය ඔක්තෝබර් 18 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිලාවතුර මල්වතුඔය පාලම අසල දී පා පැදියක් මගින් කැස්බෑවෙකුගේ මස් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සතුව තිබූ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ මස් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කොට ඇත.
නාවික හමුදා බුද්ධි තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ රාජගිරිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය ඔක්තෝබර් 18 වන දින සිදු කළ වැටලීමක දී කැලණිය ප්‍රදේශයේ මෝටර් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 9 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා, ගංජා තොගය සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැලණිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අයත් පී 142 සහ පී 233 වෙරළබඩ මුර යාත්‍රා මගින් ඔක්තෝබර් මස 19 වන දින කුදිරමලෙයි සහ උච්චමුනිය යන මුහුදු ප්‍රදේශයන් හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 2 ක්, තහනම් දැල් (තංගුස්) 2 ක් සහ අල්ලන ලද මසුන් තොගයක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 22) ලංකාපටුන ප්‍රදේශයේ සඟවා තැබූ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා සූදානම් කර තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගන්නා ලදී. එහිදී, වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහිත කූරු 4 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 3 ක් සහ අඩියක් පමණ දිගින් යුත් වෙඩි නූලක් ද සොයා ගැනීමට හැකි විය.













