ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් අද (නොවැම්බර් 02) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු කටයුතු සිදු කිරීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශොක් රාඕ මහතා ද සහභාගි වී සිටියේය.
කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ඩීජේ රිවර්, කොමාණ්ඩර් පන්කාජ් අග්රවල් සහ කොමාණ්ඩර් කේබී සිං යන මහත්වරුන්, බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
දින 5 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන්, වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු යුද නෞකාවන් සමග නාවික අභ්‍යාසයන් කිහිපයක් සිදු කිරීමට ද නියමිතය. තවද, නෞකාවන්හි කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.














