ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික පුද්ගලයින් වෙනුවෙන් විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්
පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික සහ වෙරළාරක්ෂක බලකා නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය හා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අද (නොවැම්බර් 04) කොළඹ වරාය පරිශ්‍රයේදී විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.
එම යෝගා ව්‍යායාම වැඩසටහන නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, ඒ සඳහා දෙරටේ නාවික හමුදා පුද්ගලයින් රැසක් සහභාගී වී සිටියහ. ප්‍රවීණ යෝගා ව්‍යායාම උපදේශක කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද එම වැඩසටහන නාවික පුද්ගලයින් හට නව අත්දැකීමක් එක් කරන්නක් වූ අතර, එමඟින් මනා ශාරීරික යෝග්‍යතාවයක් ලබා ගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබිණි.





