නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට
පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. එම පුද්ගලයින් නීති විරෝධී ධීවර කටයුතු සිදු කිරීම, දැව ප්‍රවාහනය කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අලෙවි කිරීම සඳහා ලඟ තබා ගැනීම යන ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇත.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 03 යන දෙදින දින උච්චමුනිය මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් (හැඹිලි හා තංගුස්) භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රා 2 ක්, තෙප්පමක්, හැඹිලි දැල් කොටස් 20 ක්, කිලෝග්‍රෑම් 6 කින් පමණ යුත් තංගුස් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 150 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ඔක්තෝබර් මස 30 වන දින පොතුවිල් තුඩුව මුහුදු ප්‍රදේශයේදී වලංගු ධීවර බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ලියාපදිංචි අංක සඳහන් නොකළ ඩිංගි යාත්‍රාවක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොතුවිල් ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව, ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 02 වන දින ඔකද මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, විශාල ප්‍රමාණයේ පොකිරිස්සන් 12 දෙනෙක් සහ බෝ කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද පොකිරිස්සන් 06 දෙනෙක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා සහ පොකිරිස්සන් තොගය පානම ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි. මෙම කාල වකවානුව පොකිරිස්සන් බිත්තර දමන කාලය බැවින් එම කාල සීමාව තුළදී ඔවුන් ඇල්ලීම තහනම් කර ඇත.
නැගෙනහිර නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 02 වන දින නිලාවේලි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔහු විසින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 470 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් මූලස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
බටහිර නාවික විධානයට ලද තොරතුරකට අනුව එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය ඔක්තෝබර් මස 30 වන දින සිදු කළ වැටලීමකදී, රාගම තේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි එම පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි
වැල්ලවත්ත, වෙරළාරක්ෂක වරුණ ආයතනය වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය ඔක්තෝබර් මස 30 වන දින වාද්දුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මත්වීම සඳහා භාවිතා කරන ඖෂධ පෙති තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණිනි. එම පුද්ගලයා සතුව තිබූ ප්‍රීගැබ් වර්ගයේ ඖෂධ පෙති 1134 ක් සහ ත්රොමඩෝල් ඇපල් වර්ගයේ ඖෂධ පෙති 307 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා සහ නීති විරෝධී ලෙස ලඟ තබා ගත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මොරොන්තුඩුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
බටහිර නාවික විධානයට ලද බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ රාජගිරිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 යන දෙදින සිදු කළ වැටලීම් 2 කදී මාවනැල්ල හා වත්තල යන ප්‍රදේශයන් වලදී, නීති විරෝධී ලෙස දුම්වැටි තොග ලඟ තබා ගත් පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී ටොප් මවුන්ටන් වර්ගයේ දුම්වැටි ඇසුරුම් 750 ක් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි ඇසුරුම් 170 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින් හා දුම්වැටි තොග ඉදිරි නීතිමය කටයුතු සඳහා කිරිබත්ගොඩ සහ මාවනැල්ල යන පොලිස් ස්ථානයන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය නොවැම්බර් 01 වන දින සිදු කළ වැටලීමකදී පුත්තලම, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ලොරි රථයක් මගින් නීති විරොධී ලෙස දැව ප්‍රවාහනය කළ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, කොහොඹ සහ පලු ශාකයන්ගේ දැව කොටස් 35 ක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, දැව තොගය සහ ලොරි රථය පුත්තලම වන සංරක්ෂන දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.








