නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහ දියේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් 3 දෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට නාවික හමුදාව සහාය විය. අත්අඩංගුවට ගත පුද්ගලයින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම, මත් පෙති ලඟ තබා ගැනීම සහ කේරළ ගංජා අලෙවි කිරීම යන හේතූන් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පසුගිය නොවැම්බර් මස 13 වන දින තුරෛයිනීලවනෙයි කලපුව අශ්රීතව සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස ඉබ්බන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර යාත්‍රාවක් සමග ඉබ්බන් 7 දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයින් සහ ඉබ්බන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ, ධිවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 14 වන දින මන්නාරම, පල්ලමුණේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ බවට සැක කෙරෙන පුද්ගලයින් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 4 ක්, තහනම් දැල් 3 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 812 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පල්ලමුණේ ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 14 වන දින මන්නාරම, වැලිපර 4 මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 350 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය නොවැම්බර් මස 14 වන දින බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ, ආහාර සහ ඖෂධ පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව දෙමටගොඩ නගරය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස ප්‍රීගැබලින් පෙති විකිනීමට කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔහු සතුව තිබී එම වර්ගයේ පෙති 987 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සහ පෙති තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා කොළඹ, ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය නොවැම්බර් මස 14 වන දින බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ තුම්මුල්ල, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගන්නා ලදී. යතුරු පැදියක් මඟින් එම කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ කොටුව, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් මස 14 වන දින ජනකපුර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී පීඩන බෝම්බ 41 ක්, ආරක්ෂිත වෙඩි නුල් 19 ක් සොයා ගෙන ඇත. තවද, නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ තිබී මකරෝව් වර්ගයේ පිස්තෝලයක්, මැගසින් 01 ක් සහ එයට යොදා ගන්නා උණ්ඩ 21 ක් සොයා ගැනීමට ද නාවික හමුදාව සමත් විය.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය නොවැම්බර් මස 15 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු (1) චීන වරාය, නච්චිකුඩා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයා යතුරු පැදියක් මඟින් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා චීන වරාය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, පසුගිය නොවැම්බර් 14 සහ 18 යන දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක දියේ ගිලි මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ (3) මෘත දේහයන් සෙයා ගැනීමට නාවික හමුදාව සහායවී ඇත. කැකිරාව මාංකඩවල වැව, ගලගොඩවත්ත ලෝලුගම ගංඟාව සහ අහුංගල්ල මුහුදු තීරයේ යන ස්ථානයන් හිදී එම පුද්ගලයින් දියේ ගිලීමෙන් අතුරුදහන්වී ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබුණු අතර, එම පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් වලදී ඔවුන්ගේ මෘත දේහයන් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය.











