තහනම් පොහොර කිලෝග්රෑම් 710 ක් සමඟ ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්රාවන් මඟින් අද (නොවැම්බර් 25) අළුයම මන්නාරම ප්රදීපාගාරයට දකුණු දෙසින් වු ශ්රී ලංකාවට අයත් මුහුදු ප්රදේශයේදී ඉන්දීය ධීවර යාත්රාවක් (Dhow) අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට පත් වූ අතර, යාත්රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ග්ලයිපෝසේට් වර්ගයේ තහනම් පොහොර කිලෝග්රෑම් 710 ක් සොයා ගැනිණි.
ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් නීති විරෝධී ලෙස එම පොහොර තොගය මුහුදු මාර්ග ඔස්සේ මෙලෙස ශ්රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කර ඇතැයි සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් ඉන්දීය පුද්ගලයින්, ධීවර යාත්රාව, තහනම් පොහොර තොගය සහ අනෙකුත් ආම්පන්න මන්නාරම ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත රැගෙන එන ලදි. ඉන් අනතුරුව ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.





