සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සයුරළ යලි දිවයිනට
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව දින 21 ක සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 28) යළි කොළඹ වරායට සේන්දු විය.
එහිදී නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී ඔවුන් සංචාරයේ ප්‍රගතිය, එහි ක්‍රියාකාරම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
එම අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වී සිටි අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර සහ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොවැම්බර් මස 17 වන දින පතායා නගරයේ ආණ්ඩුකාර පොලිස් මේජර් ජනරාල් ඒඑන්ඒඑන් චරෝඑන්චාශ්රී මහතා නිල වශයෙන් හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
එදිනම, එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තායිලන්ත රාජකීය නාවික හමුදා මූලස්ථානයේදී, තායිලන්ත රාජකීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් රන්සැරට් සටායානකල් මහතා හමුවිය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එදින පැවති නිල උත්සවය සඳහා ද ඔවුන් සහභාගී වූ අතර, නෞකා පිරික්සුම සඳහා රටවල් නියෝජනය කරමින් පැමිණි නෞකාවන්ගේ උසස් නිලධාරීන් මෙන්ම එම රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ඒ අනුව, නොවැම්බර් මස 20 වන දින තායිලන්තයේ පතායා මුහුදු ප්‍රදේශයේදී එරට අග්‍රාමාත්‍යතුමන්, ආරක්ෂක අමාත්‍යතුමන්, තායිලන්ත නාවික හමුදාධිපතිතුමා සහ චොන්දුරි ප්‍රදේශයේ ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාතික නෞකා පිරික්සුම සිදු කරන ලදී. එම අවස්ථාවේදී සයුරළ නෞකාව මඟින් සිදු කරනු ලබන ආචාරය සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා, විධායක නිලධාරී, කොමාණ්ඩර් චමින්ද කරුණාසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නැව් මුළුව සහභාගී විය.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කර ගනිමින් 2017 නොවැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා තායිලන්තයේ පතායා මුහුදු ප්‍රදේශයේදී මෙම නෞකා දැක්ම පවත්වන ලදී. එහිදී නෞකා දැක්ම මෙන්ම නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් යුද නෞකාවන් 26 ක් සහභාගී විය.
මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සයුරළ නෞකාව මෙවන් විදේශ අභ්‍යාසයක් සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව බවට එය සනිටුහන් වන අතර, 1965 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකා නාවික නෞකාවක් දීර්ඝ නාවික සංචාරයක් සඳහා එක් වූ පළමු අවස්ථාව ලෙස ද මෙය හදුන්වා දිය හැක. මෙම නිල සංචාරය සඳහා නිලධාරීන් 18 දෙනෙකුන් සහ නාවිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහභාගී විය.


























