නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (නොවැම්බර් 27) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.
පළමුව නාවික හමුදාධිපතිතුමන්, තඨාකංගනයේ ‘Green Ridge’ ව්‍යාපෘති වැඩ බිම වෙත පැමිණෙන ලදී. එම හරිත ව්‍යාපෘතියේ කාර්යය භාර්යය සහ දැක්ම පිළිබඳව විමසා බැලූ එතුමන් එම ස්ථානයේ පැලයක් රෝපණය කිරීමට ද කටයුතු කළේය. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන්, නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විධාන සම්මන්ත්රණ ශාලාවේ පැවැති දේශණය සඳහා එක් විය.
තවද, වයිස් අද්මිරාල් රණසිංහ මහතා, ඉදිකිරීමට යෝජිත නෞකා සහ යාත්‍රා වැඩපල සහිත ප්‍රදේශය සහ නාවික තඨාකංගනයේ සයිගෑන් ජැටියේ සිදු කරනු ලබන ව්‍යාපෘතීන් නිරීක්ෂණ කිරීමේ චාරිකාවාරයක් සිදු කරන ලදී. මෙම සංචාරයේදී එතුමා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී ප්‍රථමයෙන්ම නාවික දියත් විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් ඇමතීය. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් නාවික මැදුරේ චාරිකාවාරයක නිරත වූ අතර, පසුව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් ඇමතීය. මෙම සංචාරය සනිටුහන් කරනු වස් කොමදෝරු මුහුදු පුහුණු නිලධාරිතුමන්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
නිලධාරීන්ගේ ආයතනයේ ඉදිකිරීම් හා දැනට සිදු කරමින් පවතින නිලධාරී නිවස්නයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එතුමන් ජ්‍යෙෂ්ඨ නාවික නිවාසයේ තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී විය. එම අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නාවික නිවාසයේ සභාපතිතුමා විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී. තවද, අවසාන වශයෙන් නාවික හමුදාවට අළුතින් ලබා ගත් ටග් යාත්‍රාව නිරික්ෂණය කිරීමට ද නාවික හමුදාධිපතිතුමන් එක් විය.























