ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරය අද (2017 දෙසැම්බර් 9) යෙදී ඇත. ඉන්දියන් සාගරයේ දිවයිනක් ලෙස පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙසින් නොපිරිහෙලා තම වගකීම ඉටු කරන ලබන නාවික හමුදාව සිය 67 වන සංවත්සරය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කරන ලදී.
ඒ අනුව, නොවැම්බර් මස 21 වන දින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාව සමගින් ආරම්භ කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොටහේන, පොන්නම්බලවානේශ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්විණි.
මීට සමගාමීව වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී දේශය වෙනුවෙන් සිය ජීවය පුද කළ නාවික රණවිරුවන්හට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහාය ද ඇතිව පහන් දල්වා පුණ්‍යානුමෝදනා එක් කරන ලදී. ඉන් අනතුරුව, එදිනම නාවික හමුදාධිපතිතුමා සහ සියළුම නාවික හමුදා පුද්ගලයින්හටත් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්හටත් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් මෙන්ම පිරිකර පූජාවක්ද පැවැත්විණි.
තවද, ඊයේ (දෙසැම්බර් 08) සහ අද (දෙසැම්බර් 09) යන දෙදින තුල ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් අභියසදී ගිලන්පස සහිත බුද්ධ පූජාවක් පැවැත්වීමට ද කටයුතු කෙරිණි. ඉන් පසුව නාවික හමුදාධිපතිතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදකින ලදී. ඉන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී උත්තම ශ්‍රී දන්ත දාතූන්වහස්සේ උදෙසා පූජාවක්ද පැවැත්විණි. එම පුණ්‍ය කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීම ද සිදු විය. තවද, කැළණිය රජමහා විහාරස්ථානයේදී ගිලන්පස පූජාවක්, බෝධි පූජාවක් සහ ධර්ම දේශණයක් ද නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රෝසයිරෝ මහතා, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එක්වී සිටියහ.
මෙම චාරිකා වාරය තුලදී අස්ගිරි පාර්ශවයේ, මල්වතු පාර්ශවයේ සහ ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ ඉදි කරගෙන යනු ලබන ව්‍යාපෘතීන් වල නිරීක්ෂණ චාරිකාවාරයක් ද නාවික හමුදාපතිතුමා විසින් සිදු කරන ලදී.
මෙම කර්තව්‍යයන්ට අමතරව සියළුම නාවික විධානයන්හි සර්ව ආගමික කටයුතු, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන වැඩසටහන් රැසක් ද පැවැත්විය. “රට වට බැඳි රන් වැට” යන විරුදාවලි ලත් නාවික හමුදාව වත්මන් නාවික හමුදාධිපතිතුමාගේ නිවැරදි මග පෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුමද අඛණ්ඩව වර්ධනය කර ගනිමින් පවතින සම්පත් නිසි පරිදි කළමනකරණය කර අප රටට විශිෂ්ඨ සේවාවක් සැපයිමට නාවික හමුදාව මේවන විට සමත්ව ඇත.










































