67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ ඊයේ (දෙසැම්බර් 11) සිට සතියක කාලයක් පුරා යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම ලේ දන්දීමේ කඳවුර ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුමට සමගාමීව කරනු ලබයි.
උතුරු නාවික විධනයට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ. ඒ සඳහා නාවික පුද්ගලයින් 300 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දායකත්වය දැක්වීමට කැමැත්ත පළ කර ඇත. මෙම වසර තුළ උතුරු නාවික විධානය මඟින් ලේ දන් දීමේ කඳවුරු 4 ක් පවත්වා ඇති අතර, ඒ සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් තම රුධිරය පරිත්‍යාග කොට ඇත.











