නාවික හමුදාව ජාතික තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසය සඳහා සහාය දක්වයි
සාගරික කටයුතු වලදී නිරන්තරයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද ජාතික තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසය සඳහා සහාය දැක්වීය. එම අභ්‍යාසය පසුගිය දෙසැම්බර් මස 14 සහ 15 යන දෙදින කොළඹ වරාය ආශ්රිත හා ගාලු මුවදොර ආශ්රිත මුහුදු ප්‍රදේශයන් හිදී පවත්වන ලදී.
එහිදී, මුහුදු තෙල් කාන්දු වීමකදී ඊට වගකිව යුතු පාර්ශ්වයන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරු පරීක්ෂාවන් සිදු කෙරිණි. දෙදින අභ්‍යාසය සඳහා නාවික පුද්ගලයින් 70 දෙනෙකු සහභාගී වූ අතර, වේග ප්‍රහාරක යාත්‍රා 2 ක්, වෙරළාරක්ෂක මුර යාත්‍රාවක්, ගිනි නිවන කණ්ඩායමක් සහ සෝදිසි කිරීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායමක් ද එක් විය.
තවද, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, ජාතික ජලජ සම්පත් නියෝජිතායාතනය, වරාය අධිකාරිය, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය සහ අනෙකුත් වගකිවයුතු ආයතන නියෝජිතයින් ද මෙම අභ්‍යාසය සඳහා සහභාගී විය.













