ආරක්ෂක ලේකම්තුමන්ගේ නැගෙනහිර නාවික විධාන සංචාරය
ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ එම මැතිනිය ඊයේ (දෙසැම්බර් 18) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවැත්වූ මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට පැමිණි අතරතුර එතුමා මෙම සංචාරයන්හි නිරත වන ලදී. මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද සහභාගී විය.
පළමුව, ආරක්ෂක ලේකම් තුමන් වේග ප්‍රහාරක යාත්‍රාවක නැගී ත්‍රිකුණාමලය වරාය අවට මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය. ඉන් අනතුරුව එතුමා නැගෙනහිර නාවික විධාන නාවික මැදුරේ පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී. පසුව විධාන ආඥාපතිතුමන් විසින් සිදු කරන ලද නැගෙනහිර නාවික පෙදෙස පිළිබඳ වු සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම සඳහා එතුමා සහභාගී විය. එම අවස්ථාවේදී විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීමට ද එතුමා කටයුතු කරන ලදී. මෙම සංචාරය සනිටුහන් කරමින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා විසින් ආරක්ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ප්රදානය කෙරිණි.
තඨාකංගන සංඥා ස්ථානයේ (DSS) නැරඹුම් ප්‍රදේශයේ සහ විධාන ක්‍රියාකාරී මැදිරියේ (OPS Room) නිරීක්ෂණ චාරිකාවරයක් සඳහා එක්වූ එතුමන් නාවික කෞතුකාගාරය නැරඹීමට ද එක් විය. අවසන් වශයෙන් එතුමා ඊයේ නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ නාවික ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවන් සඳහා එක්වී සිටියහ.

















