ශ්‍රී ලංකා - ඉන්දියානු නාවික හමුදා ඒකාබද්ධ ජල මානක මිනුම් දෙවන අධියර සාර්ථකව නිමා වෙයි
පසුගිය ඔක්තෝබර් මස 26 වන දින ඉන්දියානු නාවික හමුදාවට අයත් සුට්ලේජ් නෞකාව පැමිණීමත් සමඟ ආරම්භ කරන ලද ඉන්දු-ලංකා නාවික හමුදා ඒකාබද්ධ ජලමානක මිනුම් දෙවන අධියර අද දින (දෙසැම්බර් 19) සාර්ථක ලෙස නිමා කරන ලදී.
ඒ අනුව එම මිනුම් කටයුතු අඩංගු සිතියම් සුට්ලේජ් නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ට්‍රිබුවාන් සිං මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත භාර දීම සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ මහතා සහභාගී වී සිටියහ.
මෙහි දෙවන අධියර යටතේ කොළඹ සිට ගාල්ල දක්වා ආවරණය වන පරිදි වෙරළ තීරයේ සිට මීටර් 200 ක් පමණ මුහුදු ප්‍රදේශයේදී මැනීම් කටයුතු සිදු කරන ලදී. 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් සාගරික සම්පත් ව්‍යුහයේ ඇති වූ වෙනස්කම් සහ වෙරළ තීරයේ සිදු වන ඉදිකිරීම් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු රැස් කර ගැනීමේ හැකියාව මෙමඟින් ලබා ගත හැකි වේ. ලබන වසරේදී මෙහි තෙවන අධියර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එය මහා රාවණා කොටුවේ සිට සංගමන්කන්ද දක්වා සිදු කිරීමට නියමිතය.






