ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ සෙටොගිරි නෞකාව ත්රිකුණාමලය වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 20) ත්රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හත්වන ආරක්ෂක ඒකකයේ අණදෙන නිලධාරී, කපිතාන් සුසුමු මොරියානා මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර්, ටකේෂි ටොනෙගාවා මහතා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවිය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක, කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා ද සහභාගී විය. මෙම නිල හමුවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු සිදු කෙරිණි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාවේ කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇත. සංචාරයෙන් අනතරුව සෙටොගිරි නෞකාව එළඹෙන දෙසැම්බර් 22 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.











