සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ දිවයිනෙන් පිටත්ව යයි
ශ්රී ලංකාව අවට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය ඔක්තෝබර් මස 26 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව එම කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් අද (දෙසැම්බර් 21) දිවයිනෙන් පිටත් විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමු දෙන ලදී.
ශ්රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව ඔවුන් විසින් ආරම්භ කරන ලද ඉන්දු-ලංකා නාවික හමුදා ඒකාබද්ධ ජලමානක මිනුම් දෙවන අධියර පසුගිය දෙසැම්බර් 19 වන දින සාර්ථක ලෙස නිමා කරන ලදී. එම මිනුම් කටයුතු කොළඹ සිට ගාල්ල දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි මීටර් 200 ක පමණ මුහුදු ප්රදේශයක සිදු කෙරිණි. මෙහි තෙවන අධියර ලබන වසරේ ක්රියාත්මක කිරීමට නියමිත අතර, එය මහා රාවණා කොටුවේ සිට සංගමන්කන්ද දක්වා සිදු කිරීමට අදහස් කොට ඇත. මීට අමතරව නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී මෙරට වෙරළ තීරයන් පිරිසිදු කිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් සඳහා ද සහභාගී විය.





