නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරත වේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 20 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධානයේ සිව් දින නිළ සංචාරයක නිරත වන ලදි.
ක්‍රියාන්විත මුහුදු පුහුණු සහ ආරක්ෂාව සම්බන්ධව කොචි හිදි පැවති රිදී ජුබිලි සම්මන්ත්‍රණය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගිවන ලදී. එමෙන්ම මෙම සංචාරයට එක් වූ කපිතාන් මුහුදු පුහුණු නිලධාරි සහ වෙළඳ නෞකා පුහුණු පාසලේ ප්‍රධානී, කපිතාන් ප්‍රදිප් රත්නායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුහුදු පුහුණුව පිළිබඳව දේශණයක් පවත්වන ලදි.
මෙම සංචාරය අතරතුරදී ඉන්දියානු නාවික හමුදාධිපතිතුමන් වන අද්මිරාල් සුනිල් ලන්බා මහතා සහ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් ඒආර් කාර්වී යන මහත්වරුන් හමුවීමට ද නාවික හමුදාධිපතිතුමන් හට අවස්ථාව උදා විය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහඳ පිළිසඳරක නිරත වූහ.
එමෙන්ම ඉන්දීය නාවික හමුදාව විසින් සංස්කෘතික ප්‍රසංගයක් සංවිධානය කර තිබු අතර, ඒ සඳහා නාවික හමුදාධිපතිතුමා ඇතුළු දුත පිරිස ඊට සහභාගි වුහ.
තවද මෙම සංචාරය අතරතුරදී නාවික හමුදාධිපතිතුමන් කොචිහි පිහිටි ජලයේදී ජිවිතාරක්ෂණය පිළිබඳවු පුහුණු මධ්‍යස්ථානය සහ දිය යට සංග්‍රාමික පුහුණු පාසල ද නිරීක්ෂණය කරන ලදි. එහිදී එම පාසලේ පුහුණුව ලබන ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් හමුවී පුහුණු කටයුතු පිළිබඳ විමසා බැලීමට නාවික හමුදාධිපතිතුමන් කටයුතු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ඉන්දීයාවේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක, කපිතාන් සුරේෂ් ද සිල්වා මහතා ද සහභාගි විය.
සිය සිව් දින නිළ සංචාරය අවසන් කරමින් නාවික හමුදාධිපතිතුමන් ඊයේ (දෙසැම්බර් 23) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාව බලා නැවත පැමිණෙන ලදි.
































