67 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව ඊයේ (දෙසැම්බර් 27) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී. නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන වශයෙන් එය හැදින්විය හැක.
බෝධි පූජාමය පිංකමක් සහ ධර්ම දේශණාවක් වශයෙන් පැවති එම වැඩසටහන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. නාවික හමුදාධිපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පළමුව කැලණිය රජමහා විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. තවද, ඔවුන් විහාරස්ථානයේ වැඩමවා සිටින ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට කටයුතු කෙරිණි.
ඉන් අනතුරුව ධර්ම දේශණාමය පිංකම පැවැත්වීය. ඒ සඳහා නාවික පුද්ගලයන් සහ දහම් පාසල් දරු දැරියන් විශාල පිරිසක් සහභාගී විය. උදාවන නව වර්ෂය සඳහා නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම නාවික පුද්ගලයන් හට ආශිර්වාද කිරීම, සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන්හට පුන්‍යානුමෝදනා කිරීම සහ මාතෘ භූමියට සෙත් පැතීම ද එහිදී සිදු කෙරිණි. මෙම ආගමික වැඩසටහන සඳහා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හා එම මැතිනිය, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.











