පොල්අතු මෝදර ගංඟාවේ අවහිර වූ උණ පඳුර ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය දින කිහිපයේදී ගාල්ල, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අද්දර වැල්ලාන මාර්ගය අසලින් ගලා බසින පොල්අතු මෝදර ගංඟාව අවහිර වන පරිදි ගැලවී ගසාගෙනවිත් සිරවී තිබූ විශාල උණ ගස් පඳුර ඉවත් කර ජලය බැස යාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.
උණ ශාක 200 කට අධික විශාල පඳුරක් මෙසේ ගංඟාව හරස් වන අයුරින් සිරවී තිබූ අතර, එම හේතුවෙන් කෝදාගොඩ ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවධානමක පැවතිණි. එම අවධානම් තත්ත්වය පිළිබඳව ඉමදූව ප්‍රදේශීය ලේකම් තුමා විසින් දකුණු නාවික විධානය දැනුවත් කිරීමෙන් අනතුරුව විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවිකයන් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයට, කිමිදුම් අංශයට සහ ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට අනුයුක්ත නාවිකයන් කණ්ඩායම් එම කර්තව්‍ය කඩිනමින් සිදු කිරීම සඳහා යෙදවීය.
මෙය කිඹුලන්ගෙන් ගහන වූ ගංඟාවක් වන අතර, එම අවධානම ද නොතකමින් ඉතා ආරක්ෂාකාරී ලෙස එම නාවිකයන් දින 4 ක් පුරාවට දොඹකර යන්ත්‍ර ද උපයෝගී කර ගනිමින් සිරවී තිබූ විශාල උණ ශාක පඳුර ඉවත් කර ජලය බැස යාම විධිමත් කෙරිණි. එමෙන්ම, එවැනිම අවධානම් තත්ත්වයේ තිබූ තවත් උණ පඳුරු කිහිපයක් ද ඉවත් කොට කිසිඳු බාධාවකින් තොරව ජලය බැස යාමට ඉඩ සැළසීමට ද ඔවුන් කටයුතු කරන ලදී.











