අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 06) කටයුතු කරන ලදී.
පසුගිය දෙසැම්බර් 31 බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු යස ඉසුරු 1 බහුදින යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකු හදිසි හෘදයාබාධ තත්වයකට ගොදුරු වී තිබිණි. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත පී 432 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 48 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.


