කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (ජනවාරි 11) වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සමත්වී ඇත. මෙම කේරළ ගංජා තොගය එම ස්ථානයෙන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, බටහිර නාවික විධානයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 11) සිදු කළ වැටලීමකදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සතුව තිබී ඖෂධ පෙති 1000 ක් සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇත. එම පුද්ගලයා සහ වේදනා නාශක ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලම්පිටිය, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.





