නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව නිතී විරෝධි මත් පෙති ළඟ තබා ගත් පුද්ගලයෙකු, නිතී විරෝධී ලෙස බුරුත ලී ලඟ තබා ගත් පුද්ගලයෙකු, නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු සහ කෘතිම මත්ද්‍රව්‍ය (Methamphetamine) ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පසුගිය ජනවාරි 17 වන දින බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ නරාහේන්පිට, ජාතික ඖෂධ නියාමන අධිකාරි කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව දෙහිවල නගරය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති විකිනීමට කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ඔහු සතුව තිබී ප්‍රීගැබලින් (Pregabalin) වර්ගයේ පෙති 940 ක් සහ ට්රෙමඩෝල් (Tramadol) වර්ගයේ පෙති 254 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා නරාහේන්පිට, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය, කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය ජනවාරි 18 වන දින කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස බුරුත ලී ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම බුරුත ලී තොගය නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, එහිදී විවිධ ප්‍රමාණයන්ගෙන් බුරුත ලෑලි 14 ක් සහ ලි කඳන් 03 ක් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ බුරුත ලෑලි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 19 වන දින නොච්චිමූර් ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලන්කොවිල්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය ජනවාරි 20 වන දින එරුමතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී, ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධිවර අධ්යක්ෂ වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ත්‍රිකුණාමලය පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (ජනවාරි 21) ත්‍රිකුණාමලය, පාලියුත්තු ප්‍රදේශයේදී නිතී විරෝධි කෘතිම මත්ද්‍රව්‍ය (Methamphetamine) පැකට් 08 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම මත්ද්‍රව්‍ය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ත්‍රිරෝද රථය සහ මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.








