නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (ජනවාරි 24) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
පළමුව නාවික හමුදාධිපතිතුමන් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ විධාන සම්මන්ත්රණ ශාලාවේදී උතුරු නාවික විධානයේ සියළුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇමතීය. ඉන් අනතුරුව එතුමා උත්තර ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් ඇමතීමට කටයුතු කරන ලද අතර, ඉදිකරමින් පවතින නව නිලධාරී නිවස්න පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවාරයක් ද සිදු කරන ලදී.
මෙම චාරිකාවාරය අතරතුරදී, එතුමන් නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගැනීමට ද කටයුතු කළ අතර, එහිදී, නාවික හමුදාධිපතිතුමා නාගදීප රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්රවීනාචාර්ය පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා ආශිර්වාද ලබා ගන්නා ලදී. එමෙන්ම නයනතිව් දුපතේ ස්ථාපිත කොට ඇති නාවික අනුඛන්ඩය වෙත ගොස් එහි රාජකාරි කරනු ලබන නිලධාරින් සහ නාවිකයින් හමුවිමට ද එතුමන් කටයුතු කරන ලදි. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් ෆෝට් හැමන්හිල් හෝටල් පරිශ්‍රයේදී විධානයේ නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක නිරත විය. ඉන් පසු එතුමා කරෙයිනගර් හි පිහිටි ශ්‍රී කප්පාත විනයාගර් හින්දු කෝවිලේ දේව පූජාවක් සඳහා සහභාගී වී එහි පූජකතුමන්ලාගෙන් දේව ආශිර්වාදය ලබා ගන්නා ලදී. චාරිකාවාරයේ අවසන් අවස්ථාව ලෙස එතුමා යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. එම අවස්ථාව සනිටුහන් කරනු වස් නාවික හමුදාධිපතිතුමන් විසින් රදගුරුතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවන් සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නැගෙනහිර නාවික විධානයේ ආයතනයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.



















