රෝගාතුර ධීවරයෙකු කඩිනම් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදාවට ලබා දුන් තොරතුරකට අනුව දැඩි ලෙස රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජනවාරි 25) කටයුතු කරන ලදී.
පසුගිය ජනවාරි මස 12 වන දින ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මිනෝෂ් පුතා 03 නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාවේ ගමන් ගත් එක් ධීවරයෙකු උණ රෝගය වැළදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වී තිබිණි.
මේ පිළිබඳව තොරතුරු ලද විගස නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පී 4446 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. ඒ අනුව, ත්‍රිකුණාමලය වරායේ සිට නාවික සැතපුම් 100 ක පමණ දුරකදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව ත්‍රිකුණාමලය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත භාර දීමට කටයුතු කරන ලදී.





