70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
කොළඹ ගාලු මුවදොර පිටියේ අද (2018 පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි. එම උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර,
“එකම දැයක්” යන තේමාව යටතේ මෙවර පැවති නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීම සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති හා රජයේ උසස් නිලධාරීන් මෙන්ම එම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් මහා බ්‍රිතාන්‍යයයේ එළිසබෙත් රැජිණගේ බාල පුත් එඩ්වඩ් කුමරු සහ එතුමන්ගේ ආර්යාව වූ සොෆී කුමරිය ද සහභාගී විය. තවද, දිවයිනේ නන් දෙසින් ඉතා විශාල ජන පිරිසක් නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට එක්වී සිටියහ.
අතිගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා වාද්‍ය වෘන්දය මගින් ලබා දෙන මගුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජාතික ධජය එසවීමත් සමග ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශයේ නාවිකයන් විසින් සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් එකසිය දහ දෙනෙකු විසින් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ වාදනයට අනුව ජාතික ගීය ගායනා කිරීම ද එහිදී සිදු විය. ආචාර වෙඩි මුර 21 කින් ගෞරව දැක්වීමෙන් පසු සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතිය අමතන ලදී.
නිදහස් දින උළෙලේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු ජයන්ත කුලරත්න පෙර ගමන් රථයේ ගමන් කරනු ලැබූ අතර, කොමාණ්ඩර් අතුල ජයවිර විසින් නාවික හමුදා ඛණ්ඩයට අණදීම සිදු කරන ලදී. නාවික හමුදා පෙළපාලිය, මූලස්ථාන බලඝණය, නාවික දියත් විධානය, විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ, මැරීන් බලඝණය සහ කාන්තා නාවික යන බලඝණයන්ගෙන් සැදුම්ලත් අංශ 6 කින් සමන්විත විය. නිදහස් උළෙලේ ආචාර පෙළපාලියට නීල, ශ්වේත සහ සංග්‍රාමික නිල ඇඳුමින් සැරසුනු නාවික පුද්ගලයන් 1019 දෙනෙකු එක් වුණු අතර, නාවික හමුදා වාදක කණ්ඩායමේ රණ ගී වාදනයට අනුව ඔවුන් උදාර ලෙස පෙළපාලියේ ගමන් කරන ලදී. ජාතියට ලබා දෙන විශිෂ්ඨ සේවය අගයමින් නාවික හමුදා මූලස්ථානය, නැගෙනහිර, උතුරු, දියත් විධානයන්ට සහ නාවික හා සාගරික විද්‍යාපීඨයට පිරිනමන ලද ජනාධිපති වර්ණ මහත් අභිමානයෙන් යුතුව රැගෙන යමින් නාවික හමුදාව එම පෙළපාලියේදී තම ප්‍රෞඩත්වය විදහා දැක්වීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම අංශයන් නියෝජනය කරමින් නාවික හමුදා මූලස්ථාන බලඝණය ආචාර පෙළපාලියේ පෙරමුනින් ගමන් කළ අතර, ලුතිනන් කොමාණ්ඩර් ප්‍රභාත් කුමාරසිංහ විසින් ඒ සඳහා අණදෙනු ලැබිණි. ‘දළ රළ පරයා පෙරට’ යන ආදර්ශ පාඨය යටතේ බාහිර සතුරු උවදුරු වලින් සහ සාගරික ත්‍රස්තවාදයෙන් දේශය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළ නාවික හමුදා දියත් විධානයේ නෞකාවන් හා යාත්‍රාවන් නියෝජනය කරමින් 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණය සහ වේග ප්‍රහාරක නෞකා බලඝණයට අයත් නාවිකයන් ලුතිනන් කොමාණ්ඩර් සමීර එදිරිවිර ගේ නායකත්වය යටතේ ආචාර පෙළපාලියේ ගමන් ගන්නා ලදී.
“විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ” යන ආදර්ශ පාඨය යටතේ මහ සයුරේ මෙන්ම ගොඩබිමෙහි හා ගුවනේ සුවිශේෂී සංග්‍රාමික සටන් ක්‍රම පිළිබඳ විශිෂ්ඨයන් වන විශේෂ යාත්‍රා බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් මංජුල වන්නිනායක අණදීම සිදු කෙරිණි. ‘අනන්තයට එහා දිවෙන විජයග්රහණයක් කරා’යන්න ආදර්ශ පාඨය කරගත් මුහුණට මුහුණලා සිදු කෙරෙන මුහුදු සංග්රාමයන්ගෙන් නිපුණ, සාම්ප්‍රදායික නාවික සංග්රාමයන්ට කුඩා යාත්‍රා සංකල්පය හඳුන්වා දුන් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ලුතිනන් කොමාණ්ඩර් අමල් පියසේනගේ අණදීම යටතේද, “ශක්තියෙන් නිර්භිතව ජයග්‍රහණය කරා” යන්න ආදර්ශ පාඨය කරගත් භු ජලතරණ මෙහෙයුම්, මුදවා ගැනිමේ මෙහෙයුම් නගරබද සටන් සහ ගංගා ආශ්රිත මෙහෙයුම් සදහා විශේෂ පුහුණුවක් ලබා ඇති මැරීන් බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් මිලින්ද දෙහිගම අණදෙනු ලැබීය.
වෛද්‍ය, සංඥා, සැපයුම් හා තොරතුරු තාක්ෂණ යන අංශවල මෙන්ම ක්‍රියාන්විත රාජකාරී වල යෙදෙමින් දේශයට මහඟු සේවාවක් ඉටු කළ කාන්තා නාවිකයන්ගේ බලඝණය ලුතිනන් කොමාණ්ඩර් නිමාලි මධුරංගනී කුමාරි යටතේ නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා එක් විය. එමෙන්ම නිදහස් දින අචාර පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන තාක්ෂණික අවි සහ උපාංග ප්‍රදර්ශණය කෙරෙන අභිමානවත් රථ පෙළපාලියකින් සමන්විත වූ අතර, කොමාණ්ඩර් රුක්ෂාන් මහගෙදර එහි පෙර ගමන් රථයේ ගමන් කරන ලදි.
නිදහස් දින සැමරුම් උත්සවයට විචිත්‍රවත් බවක් එක් කරමින් සිදු කෙරුණු පැරෂුට් සංදර්ශණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජය රැගෙන ලුතිනන් කොමාණ්ඩර් සාගර ලොකුගේ ගාලු මුවදොර පිටියට පතිත වූ අතර, ඒ සඳහා සුළු නිලධාරී ජීසීඑම්කේ ගීකියනගේ ද එක්විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අළුතින්ම එක් වූ නාවික හමුදාව සතු විශාලම සහ ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ප්‍රථම වරට සහභාගි වන ලද නෞකාවක් වන සයුරළ නෞකාව පෙරටුකොට ගනිමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර, සහ පසුගිය වසරේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට එක් වූ වෙරළාරක්ෂක සුරක්ෂා නෞකාවද මිසයිල ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්ර නෞකාව සමඟ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන උදාර, ප්‍රතාප, රත්නදීප සහ රණධීර යන මුර නෞකාවන් ද 4 වන වේග ප්‍රහාරක බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රා ද ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සිය ආචාරය පුද කරන ලදී. මෙම නෞකා සමුහයට කපිතාන් අශෝක විජේසිරිවර්ධන අණදෙනු ලැබූ අතර, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රා සමූහය එහි අණදෙන නිලධාරී කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලැබීය.

























