ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණය 2018 - සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
ත්‍රිකුණාමල කථිකාව සාගරික සම්මන්ත්‍රණයේ 7 වන අධියර, පසුගිය පෙබරවාරි මස 06 වන වන දින නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා සහභාගී විය. නැගෙනහිර නාවික විධානය ආවරණය වන පරිදි ත්‍රිකුණාමලය, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාසල මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වන්නේ එම මාණ්ඩලික පාසලේ පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගේ සාගරික ක්‍රියාකාරකම් ආශ්රිත කරුණු සාකච්ඡා කිරීම තුළින්, ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමයි.
මෙවර සම්මන්ත්‍රණය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතාගේ මඟපෙන්වීම යටතේ, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාසලේ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ සංවිධානත්වයෙන් පවත්වන ලදී. මෙවර එහි තේමාව වූයේ “ත්‍රිකුණාමල වරාය, නාවික හමුදා සමුද්‍රීය උපායමාර්ග 2025 මෙහෙයවිය හැකි දොරටුවකි” යන්නයි. මෙහිදී, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය ඩබ්අයි සිරිවීර මහතා සහ ත්‍රිකුණාමල වරාය නියෝජ්‍ය වරාය පාලක, ඒඑම්එස්පී අරම්පත් යන මහත්වරුන් ආරාධිත කථිකයන් ලෙස සිය දේශණ ඉදිරිපත් කෙරිණි. 21 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවට අයත් ශිෂ්‍ය නිලධාරීන් 5 දෙනෙකු ද එහිදී, සිය පර්යේෂණ නිබන්ඳන ඉදිරිපත් කරන ලදී.
මෙම කථිකාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා, ධජ නිලධාරීන්, නාවික ආයතනයන් සහ නෞකාවන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ත්‍රිකුණාමලය ගුවන් හමුදා මාණ්ඩලික පාසලේ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරීන්, කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාසලේ ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී ඔවුන් විසින් මෙම කථිකාව පැවැත්වීම සහ එහි වැදගත්කම පිළිබඳව ඉහලින් අගය කරන ලදී.




















