අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2018 සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2018 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් ද මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වී සිටියහ. ක්‍රීඩාව තුළින් සන්නද්ධ හමුදාවන් එකමුතු වී ලෝක සාමය ලඟාකර ගැනීමේ අරමුණින් පැවැත් වූ මෙම ධාවන තරඟය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාලය අසලින් නිමාවට පත් විය. ඉන් අනතුරුව ඒ සඳහා සහභාගි වූ සියළුදෙනා හට සහතිකපත්‍ර ප්රදානය කිරීමක් ද සිදු කරන ලදී.
අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ වූ අතර, මෙය ලෝකයේ පවතින විශාලතම සංවිධානයක් වේ. මේ වන විට වර්තමානයේ රටවල් 135 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවද 1996 වසරේදි එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේදි මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක්ම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරඟාවලි පවත්වනු ලබන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල් විසින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සහභාගි වේ.
















