කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් ඊයේ (පෙබරවාරි 24) අළුයම නිමාවට පත් විය. නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පවත්වනු ලබන දෙවන දේව මෙහෙය බවට මෙය සනිටුහන් විය.
දේව මෙහෙය දෙමළ භාෂාවට අමතරව ප්‍රථම වරට සිංහල භාෂාවෙන්ද පැවැත්වු අතර, යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයද, ගාල්ල පදවියේ රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂාවෙන් දේව මෙහෙයද පවත්වන ලදි. මෙම අවස්ථාව සඳහා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ගරු විජයකලා මහේෂ්වරන් මහත්මිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, උතුරු නාවික විධානය භාර ආඥාපති වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ද සහභාගී විය. තවද, මෙවර මංගල්‍යය සඳහා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් 10,000 කට ආසන්න පිරිසක් මෙන්ම පූජකතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පිරිසක් ද එක්ව සිටියහ.
මීට අමතරව, කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගී වූ බැතිමතුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කර දීම මෙන්ම විදුලි බල පහසුකම් සලසා දීම නාවික හමුදාව මගින් සිදු කරන ලදී. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍යවරයකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් යෙදවීමටත් නාවික හමුදාව පියවර ගෙන තිබුණි.















