ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය සිය 26 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ 26 වන සංවත්සරය පසුගිය (මාර්තු 09) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් (මාලිමා) ජගත් ප්‍රේමරත්න මහතා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව පසුගිය පෙබරවාරි මස 28 වන දින ගාල්ල, කච්චිවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වතාවත් ද, මාර්තු මස 02 වන දින ගාල්ල, කළුවැල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ක්‍රිස්තියානි දේව මෙහෙය ද, මාර්තු මස 05 වන දින ගාල්ල, කතිරවේලායුධ ස්වාමි හින්දු දේවස්ථානයේ දේව පූජාව සහ මාර්තු මස 06 වන දින ගාල්ල කච්චිවත්ත ජුම්මා මුස්ලිම් පල්ලියේ දේව මෙහෙයක් ද සිදු කරන ලදී. එහිදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු සමස්ථ නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.
තවද, දකුණු නාවික විධානයේ සියළුම දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි සුහද ක්‍රීඩා තරඟාවලි මෙන්ම සමාජ සත්කාරක සේවාවක් ලෙස ගාල්ල දිසානායක ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ කටයුතු ද සිදු කරන ලදී. නාවික සම්ප්‍රදායානුකූලව ආයතනයේ අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ 26 වන සංවත්සරයේ නිමාව සනිටුහන් කරමින් ප්‍රවීණ ගී තරු පිරිවරා වර්ණවත් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා ද විධානය භාර ආඥාපතිතුමන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.















