හැමිල්ටන් ඇල මාර්ගය අවහිර වන සේ වැටී තිබූ දැවැන්ත ගස නාවික හමුදාව විසින් ඉවත් කරයි
ඇලකන්ද, හැමිල්ටන් ඇල මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත නුග ශාක කොටස ඉවත් කර එහි ජලය බැස යාම යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව සමත් විය. ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයේ නාවිකයන් පිරිසක් පසුගිය මාර්තු 16 වන දින එම මහඟු කර්තව්‍ය සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත.
ඇලකන්ද ශ්‍රී ගංගාතිලක විහාරස්ථානය ඉදිරිපිට පිහිටා ඇති දැවැන්ත නුග ගසේ කොටසක් දීර්ඝ කාලයක් තිස්සේ එම ඇල හරහා වැටී තිබීම නිසා ඇල මාර්ගය අවහිර වී පැවති අතර, ඇල මාර්ගය භාවිතා කරන ජනතාව හට මෙන්ම ධීවරයන් හට ද එය මහත් බාධාවක් විය. මේ පිළිබඳව නාවික හමුදාව වෙත තොරතුරු ලැබීමෙන් අනතුරුව බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවිකයින් කණ්ඩායමක් එම ශාක කොටස ඉවත් කිරීම සඳහා යෙදවීය. ඒ අනුව නාවික පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් දරමින් එම ශාක කොටස සම්පූර්ණයෙන් ඉවත් කර හැමිල්ටන් ඇලේ ජලය බැස යාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.
එම මහඟු කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් ඇලකන්ද ගංගාතිලක විහාරාධිපති ස්වාමීන්වහන්සේ මෙන්ම, ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහ ඇල මාර්ගය භාවිතා කරන අනෙකුත් පෞද්ගලික ආයතනයන්හි හිමිකරුවන් නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තුතිය සහ ප්‍රශංසාව පිරිනැමීමට කටයුතු කරන ලදී.











