බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 22) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.
නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, එහි අණදෙන නිලධාරී කපිතාන්, සයිඩ් ෂයිෆ් උල් ස්ලාම් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක, කොමදෝරු සයිඩ් මක්සුමුල් හකීම් මහතා ද සහභාගී විය.
දිගින් මීටර් 103.7 ක් සහ පළලින් මීටර් 12.5 කින් යුත් බන්ගාබන්දු නෞකාව ටොන් 2407 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 233 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළබෙන මාර්තු 25 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.








