ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනී
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිශ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම ඊයේ (මාර්තු 22) එම නැව් තඨාකංගනයේදී සිදු කෙරිණි.
මෙම සුවිශේෂි අවස්ථාවේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, අතිගරු චිත්‍රාංගනී වාගිෂ්වර මැතිණිය සහ ගෝවා නැව් තඨාකාංගණයේ සභාපති සහ කළමණාකර අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ශේකර් මිතල් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වෙත නිල වශයෙන් නෞකාව භාර දෙන ලදී.
මෙම අධිතාක්ෂණික නෞකාව නිශ්පාදනය කිරීමේ කටයුතු 2014 වසරේදි ගෝවා නැව් තටාකාංගණයේදී ආරම්භ කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල මුර සංචාර සිදු කිරීම, සෝදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව ඇත.



