නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 6 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී. එම පුද්ගලයින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, කේරළ ගංජා සහ මත් පෙති ලඟ තබා ගැනීම යන හේතූන් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 01) ත්‍රිකුණාමලය, කොක්කාඩි මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 85 ක් සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් යතුරු පැදියක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා, මසුන් තොගය සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා ලංකාපටුන ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කිලිනොච්චි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය මාර්තු 29 වන දින මරදන්කේනි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 5.250 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලාලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව වෙත ලබා දුන් තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ කොළඹ (උතුර) පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අසල ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සතුව තිබූ ප්රීගැබ්ලීන් (Pregabalin) මත්පෙති 50 ක්, ඩයසෙපාම් (Diazepam) මත්පෙති 180 ක්, ක්ලෝන්සෙපාම් (Clonzepam) මත්පෙති 81 ක් සහ ත්රමඩෝල් ඇපල් වර්ගයේ (Tramadol Apple) මත්පෙත්තක් සොයා ගැණුනු අතර, එම පුද්ගලයා සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා කොළඹ (උතුර) පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කොට ඇත.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය මාර්තු මස 27 වන දින කෝකිලායි ප්‍රදේශයේදී තහනම් දැල් සහ ඩයිනමයිට් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 98 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා ඩිංගි යාත්‍රාව සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දෙන ලදී.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් සහ ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය, විජිතපුර ප්‍රදේශයේ පසුගිය මාර්තු මස 26 වන දින සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.










