නාවික කුසලාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි
නාවික හමුදා හොකී සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද නාවික කුසලාන හොකී තරඟාවලියේ ජයග්‍රහණය ගුවන් හමුදා හොකී කණ්ඩායමට හිමි විය. මෙම මස 07 සහ 08 යන දෙදින වැලිසර නාවික හමුදා හොකී ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා පොලිස් සහ දිවයිනේ ජනප්‍රිය හොකී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් රැසක් සහභාගී විය.
ඔවුන් සියල්ල අභිබවමන් නාවික හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අවසන් වටයට තේරී පත් විය. ඒ අනුව, ඊයේ (අප්‍රේල් 08) පැවැත්වූ තරඟයෙන් ලකුණු 1 ට 0 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කණ්ඩායම සිය ජය තහවුරු කර ගන්නා ලදී. මෙහිදි තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ ගුවන් භට ඩබ්ඩබ්ඒපීයූ ප්‍රනාන්දු හිමිකර ගත් අතර, තරඟාවලියේ හොඳම ප්‍රහාරකයා වශයෙන් බල නැවි දර්ශණ අබේවික්‍රම විසින් හිමි කර ගන්නා ලදී. තවද, තරඟාවලියේ කැපී පෙනෙන ප්රවීණතම ක්‍රීඩකයාට හිමි සම්මානය බෙනඩික් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලද තිලක් ප්‍රනාන්දු ක්‍රීඩකයා හිමිකර ගත් අතර, වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය බිආර්සී ක්‍රීඩා සමාජයේ විකේසී ක්‍රිෂාන් අමරසිංහ ක්‍රීඩකයා හිමි කර ගන්නා ලදී.
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගි වූ අතර, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා හොකී සංගමයේ සභාපති, කපිතාන් අනුර තෙන්නකෝන් මහතා, එහි ලේකම් ලුතිනන් කොමාණ්ඩර් තිළිණ කරුණාරත්න මහතා, නාවික හමුදා මුලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම ක්‍රීඩක/ක්‍රීඩිකාවන් රැසක් ද සහභාගිවි සිටියහ.
තවද, ශ්‍රී ලංකාව තුළ මේ දක්වා පවත්වන ලද කිසිඳු අන්තර් සමාජ හොකී ක්රීඩාවලියකට යොදා නොගත් තුන්වන විනිසුරුවෙකුගේ තීරණ ලබා ගැනීම සඳහා මෙවර ශ්‍රී ලංකා නාවික හමුදාව සතු සීමිත තාක්ෂණික හා කැමරා උපකරණ භාවිතයෙන් සජීවී රූපවාහිනී ක්‍රමවේදය භාවිතා කළ අතර, එම අවස්ථාව නාවික හමුදා සහ හොකී ක්‍රීඩා ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක් බවට සනිටුහන් විය. තවද එම කර්තව්‍ය සියලුම ක්‍රීඩා සමාජ වල නොමද පැසසුමට ද ලක් වීය.





















